Tuesday, July 16, 2019


දඹදෙණි යුගයේ සාහිත්‍යය

විවිධ සතුරු උපද්‍රව හමුවේ පැවැති දඹදෙණි යුගය සිංහල සාහිත්‍ය වංශය සඳහා  මා හැඟි කෘති රාශියක් දායාද කරන්නට සමත් විය. රජවරුන් හත්දෙනකු යටතේ වසර සියයකට නොඅඩු කාලයක්  පාලනය වූ දඹදෙණි රාජධානි සමය තුළ ලක්දිව කෙතරම් සතුරු  පීඩනයන්ට ලක් වූයේ ද යන්න අපි දනිමු. තත්කාලීන රජුවරුන්ගෙන්  සාහිත්‍යකරණය සඳහා ලැබුණු අනුග්‍රහය අමතක නොකළ හැකි වුවත් එවැනි පසුබිමක මෙතරම් ශ්‍රේෂ්ඨ කෘති සංඛ්‍යාවක් රචනා වීම ඉහළින් අගය කළ යුතුය. මාඝ හෙවත් කාලිංග විජයබාහුගෙන් රට මුදාගත් තුන්වන විජයබාහු රජතුමා විසින් සතුරු උවදුරු නසා  රට හැර ගිය භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන  ධර්මය ලියා තැබීමටට කටයුතු සලස්වන ලදී. පොළොන්නරුවේ නැතිවු සාහිත්‍යය ඇති කිරීමේ ව්‍යාපෘතිය කුළු ගන්වා ඇත්තේ  දඹදෙණි පැරකුම්බා රජු විසිනි. ඒ රජුගේ තිස් දෙකක් පමණැති රාජ්‍ය කාලයේදී රටේ ලියැවී ඇති පොත්පත් ගණන බලන විට එතරම් කෙටි කාලයක දී මෙතරම් විශාල ගණනක් ලියැවී ඇති අනිත් යුගයක් දකින්නට බැරි තරම් ය.  ඒවා ද විවිධ විෂයන් යටතේ රචනා වී ඇත. දඹදිවින් උගතුන් හා පොත්පත් ගෙන්වාගෙන ශාස්ත්‍රොන්නතිය වෙනුවෙන් කටයුතු කළ රජතුමා,
  • පලාබත්ගල ආරණ්‍ය වාසය ඇතිකිරීම
  • රතන භික්ෂූන්ට නිවාස දීම
  • පිරිවෙන් කරවීම

ආදියෙහි නිමග්න විය.

දඹදෙණි සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පැරකුම්බා රජු සමයයි. විනාශ වී ගිය සාහිත්‍ය කෘති නැවත ලියවීම මෙන්ම අලුත් ග්‍රන්ථ රාශියක් මේ යුගයේ රචිතය. සිව්වැනි විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ සිට කුරුණෑගල පරාක්‍රමබාහු රජු තෙක් ඇති අවුරුදු තිහක් පමණ කාලය තුළ අමුතුවෙන් සඳහන් කළ යුතු තරමට දියුණුවට ගිය සාහිත්‍ය ව්‍යාපාරයක් ගැන තොරතුරු දක්නට නැත. මේකාලයට අයත් බුවනෙකබාහු රජු දින ත්‍රිපිටකය ලියැවීම කර තිබේ. දෙවන පරාක්‍රමබාහු සිය නමින් පිරිවෙනක් කරවා ඇත.

දඹදෙණි යුගයෙහි ගිහිපැවිදි බහුශ්‍රැත පඬිවරු සාහිත්‍යාභිවර්ධනයේ නියැළුනහ. සංඝරක්ඛිත මාහිමි, මේධංකර මහාස්ථවීර, වනරතන බුද්ධවංස මහාස්ථවිර, දිඹුලාගල මේධංකර මහාස්ථවිර, අනෝමදස්සී මාහිමි, ආනන්ද වනරතන මහාථෙර, ධර්මකීර්ති මහාස්ථවීර, වේදේහ මහාස්ථවිර, මහනෙත්පාමුල සුමංගල මහාස්ථවිර, මයුරපාද පරිවෙණාධිපති මහාස්ථවීර, ධර්මසේන මහාස්ථවීර, භද්‍ර මහාස්ථවීර, ගෞතම ස්ථවීර, ආදී පණ්ඩිතයන් වහන්සේලාද කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහරජතුමා, විද්‍යාචක්‍රවර්ති ආදී බහුශ්‍රැත පඬිවරු ද ධර්ම ශාස්ත්‍රයෙහි මුල්ව ක්‍රියා කළෝය. මීට අමතරව කර්තෘ සොයාගත් නොහැකි කෘති රාශියක් තිබීමෙන් දඹදෙණි යුගයේ විද්වතුන්ගේ සංඛ්‍යාව මහත් බව පෙනේ.

පොදු ජනයාගේ බණ ඇසීමේ රුචිය වර්ධනය කරමින් ජාතක කතා ප්‍රධාන කොට ඇති අටුවාවන්හි ආ චරිත කතා ද බුදු සිරිත්ත් එහි සිත් ඇදගන්නා තැනුත් සමගින් ලියවීම ඇරඹුයේ පොළොන්නරු යුගයෙනි.  එහි වර්ධනීය අවස්ථාව සද්ධර්මරත්නාවලියෙන් පෙන්නුම් කරන අතර බුත්සරණ, දහම්සරණ හා සඟසරණ යන කෘති අමාවතුරට පසුව සද්ධර්මරත්නාවලිය රජ අවධිය වන විට ලියැවී තිබූ ඒ මඟගත් අනෙක් කෘතිය. මේ අතර බණ පිළිබඳ නිරතුරුවම සාකච්ඡා කරමින්  ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට බුදුන් වහන්සේ සුදුසු වන අයුරු පෙන්වමින් මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් පූජාවලිය රචනා කරනු ලබයි.

පොලොන්නරු කාලයේ දී සාරිපුත්ත මාහිමියන් ලියූ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් ඇරඹි සිංහල සන්න සාහිත්‍යය දඹදෙණි යුගයේදී කොතරම් දියුණුව ගියාද යන වග ධම්මපද සන්නයෙනුත්,  ii පැරකුම්බා රජතුමාගේ විශුද්ධි මාර්ග මහා සන්නයෙනුත් පෙනේ. සිංහල පද්‍යයෙහි පෙර නොවූ මහත් දියුණුවක් දඹදෙණිය යුගයේදී ඇති වේ. අනුරාධපුරාධපුර යුගයේ සියබස්ලකර මගින් අලංකාර පිළිබඳ ඥානය ලබා දුන්නත් ඡන්දස් පිළිබඳ දැනගැනීමට ප්‍රමාණාත්මක ග්‍රන්ථයක් නො වූ බව පෙනේ. මෙම අඩුව දුරලීමට භද්‍ර නම් භික්ෂුවක විසින් එළුසඳස් ලකුණ සම්පාදනය කරන ලදී. සිංහල පද්‍ය සාහිත්‍ය වංශයෙහි උත්කෘෂ්ට ඵලය ලෙස සැලකෙන කව්සිළුමිණ මහා කාව්‍ය ලියවෙන්නේ ද දඹදෙණිය යුගයේය. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ අසහාය පාණ්ඩිත්‍ය  පෙන්වන සිංහල පද්‍ය පූර්ණ එකම මහා කාව්‍යයයි. සිංහල ව්‍යාකරණය පිළිබඳ පිළිගත් සිද්ධාන්ත රැස්කොට වේදේහ හිමියන් විසින් රචිත සිදත් සඟරාව සිංහල වියරණයට පදනම සපයන කෘතියයි. ඊට අමතරව,
  • කර්ම විභාගය
  • රූපසිද්ධි සන්නය
  • විරිත සන්නය
  • අටදා සන්නය
  • දඹදෙණි කතිකාවත
  • කඳවුරු සිරිත
  • සිදත් සන්නය
  • පියුම්මල්
  • එළුසඳැස් ලකුණ සන්නය
  • ලකුණුසර  
  • කුදුසික සන්නය
  • පදසාධන සන්නය
ආදි කෘති රාශියක් දඹදෙණි යුගයේ දී රචනා වී තිබේ.

7 comments:

  1. ගොඩක් වැදගත් කරුණු ඉගෙන ගත්තා. ස්තුතියි 🙏 😃

    ReplyDelete
  2. බොහොම ස්තුතියි 🙏

    ReplyDelete
  3. Replies
    1. ගොඩක් වැදගත් කරුණු ඉගෙන ගත්තා ස්තුති..������

      Delete
  4. වැදගත් කරුණු

    ReplyDelete