- ඒක වචන නාම පදයක් උක්තය වන විට අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තැබේ.
උදාහරණ - නරියා මිදි කඩයි
පූසා මීයන් අලල්යි
වැද්දා මුවා මරයි
- ප්‍රාණවාචී බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන්තැබේ.
උදාහරණ - නිවේදකයෝ ප්‍රවෘත්ති කියති.
දරුවෝ දෙමාපියන් රැක ගනිති.
අම්මලා ගමට ගියහ.
- අප්‍රාණවාචී බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තැබේ.
උදාහරණ - කඳු කඩා වැටේ.
පර්වත ඇද හැලේ
තරු බබළයි.
- අප්‍රාණවාචි බහු වචන පදයකට පසු ඕ, හූ, ප්‍රත්‍යය යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබේ.
උදාහරණ - ගංගාවෝ ගලා බසිති
තාරකාවෝ රැස් විහිදති.
පියුම්හු පිපෙති
- ගෞරවාර්ථ බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තබනු ලැබේ.
උදාහරණ - සරච්චන්ද්‍රයෝ පොත් ලියූහ.
පුතණුවෝ පාඩම් කළහ.
තෙරහු දනට වැඩියහ
- ප්‍රාණවාචී ප්‍රකෘති බහු වචන පද උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබිය යුතුය.
උදාහරණ - අලි පෙරෙහැරේ යති.
කොටි දඩයම් කරති.
හරක් සී සාති.
- සමූහාර්ථවාචී පදයක් ප්‍රාණවාචි පද සමඟ යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබේ.
(රැළ, කැල, පෙළ, ගණ, සමූහය, පිරිස, රංචුව, මුළ, රැන, ගාල, අහින, කණ්ඩායම)
උදාහරණ - සොළී සේනාව රජරට වැනසූහ.
සොර මුළ ගෙවල් බිදිති.
ශිෂය සමූහය පාසලට යති.
- සමූහාර්ථවාචී පදයක් අප්‍රාණවාචි පද සමඟ යෙදෙන විට අවසාන ක්‍රියාව ඒක වචන ය.
උදාහරණ - ගස් පෙළ සෙලවෙයි.
තරු රැස බබළයි.
ගල් සමූහය පෙරලේ.
- නිත්‍ය බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබේ.
(කෙනෙක්, අයෙක්, ඇතැමෙක්, කවුරු, කවරහු, දෙන, සමහරු, සමහරෙක්, දෙනෙක්, අය)
උදාහරණ - සමහරු පන්සල් යති.
ඇතමෙක් ගමට ගියහ.
යමෙක් මාළු අල්ලති.
- නිත්‍ය බහු වචන පදයක් වුව ද පැහැදිලිව හා නිශ්චිතව එකම අයෙක් පිළිබඳව සඳහන් කරන විට අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තැබේ.
උදාහරණ - පන්තියෙන් කෙනෙක් ගෙදර ගියේ ය.
කණ්ඩායමෙන් අයෙක් ඉවත් විය.
- වෙන් ව ඇති වාක්‍ය දෙකක් නම් නිපාතයෙන් ඈදන විට දෙපස ඇති වාක්‍ය ස්වාධීනව තබනු ලැබේ. වාක්‍ය දෙක උක්ත රූප අනුව ස්වාධිනව අවසාන ක්‍රියා තබනු ලැබේ.
උදාහරණ - දෙමාපියෝ ආදර්ශවත් වෙත් නම් දරුවෝ ද ආදර්ශවත් වෙති.
නිලධාරිහූ අවංක වෙත් නම් සේවකයෝ ද අවංක වෙති.
ගුරුවරු හොඳින් අවංක වෙත් නම් දරුවෝ ද උගනිති.
- ඇත, නැත යන නිපාත පද වලට සෘජුවම නාම පදය සම්බන්ධ වන විට එම පදය උක්ත රූපයෙන් තැබිය යුතුයි.
උදාහරණ - පාර්ලිමේන්තුවේ බුද්ධිමත්තු නැත
යහ මග යන දරුවෝ ඇත
සම්මාන දිනන ක්‍රිඩකයෝ ඇත
- ඇත, නැත යන පදවලට පූර්වයෙන් උපකාරක පදයක් (නිපාත පදයක් හෝ කෘදන්ත පදයක්) යෙදෙන විට ඊට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ.
උදාහරණ - රැස්වීමට මන්ත්‍රීවරුන් පැමිණ ඇත
රැස්වීමට කාන්තාවන් එනු ඇත
ගුරුවරුන් උගන්වනු ඇත
- ද්විත්ව උක්තය යනු එකම අයෙක් හෝ කණ්ඩායමක් හෝ එකම වාක්‍යයක් තුළ දෙවරක් පෙනී සිටීමයි. එවිට පද දැකම උක්ත රූපයෙන් තබා උක්තයට අනුව අවසාන ක්‍රියාව තබනු ලැබේ.
උදාහරණ - ලාංකිකයෝ කරුණාවන්ත සිත් ඇත්තෝ වෙති
මම හොද ළමයෙක් වෙමි
රාජ්‍ය නායකයෝ කපටි රජවරු වෙති
- දෙනා දෙනෙක් යන උපකාරක පද වලට පූර්වයෙන් උක්ත බහුවචන පදයක් යෙදීය යුතුය.
උදාහරණ - සිංහලයෝ වැඩි දෙනා බෞද්ධයෝ වෙති.
ගුරුවරු වැඩි දෙනෙක් ළමයින්ට හොඳින් සවන් දෙති.
ශිෂ්‍යයෝ වැඩිදෙනෙක් අභ්‍යාස නොකරති
- දෙනා දෙනෙක් යන උපකාරක පද සමඟ අතර අතරින් වැනි නිපාත පද යෙදෙන විට ඊට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ. සංඛ්‍යා නාමයක් යෙදෙන විට ද මේ නීතිය එසේම ය.
උදාහරණ - පෙරහැරේ ගිය මිනිසන් අතරින් වැඩි දෙනෙක් පන්දම් කරුවෝ ය.
පාසල් ගිය සිසුන් අතර වැඩි දෙනා පාවහන් නොමැති දරුවෝ ය.
- අවසාන ක්‍රියාව ලෙස ආශිර්වාද ක්‍රියාව යෙදෙන අවස්ථාවල දී එයින් කියවෙන පදය උක්ත රූප ගත යුතු ය.
උදාහරණ - මම නිදුක් වෙම්වා
අපි නිදුක් වෙමුවා
තොපි සැප ලබහුවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
- තෙමේ, තොමෝ, තුමූ යන ශබ්ද උක්ත රූප සමග යෙදිය යුතුය. පුරුෂ ලිංග ඒක වචන සමග තෙමේ ද ස්ත්‍රී ලිංග ඒක වචන සමග තොමෝ ද ද්වී ලිංගයේම බහුවචන සමඟ තුමූ ද යෙදේ.
උදාහරණ - බමුණු තෙමේ යාගෙට යයි
බැමිණි තොමෝ යාගයට යන්නී ය
බමුණෝ තුමූ යාගයට යති
මහී කාන්තාවෝ තුමූ සසල වූහ
- හා, සහ, ද, ත් යන සමූහාර්ථවාචී නිපාත පදයකින් ප්‍රාණවාචී නාමපද කිහිපයක් ඈඳූ කල්හි අවසාන ක්‍රියාව තැබිය යුත්තේ අවසාන ක්‍රියාවට සමීපතම පුරුෂයේ බහු වචනයෙනි.
උදාහරණ - තාත්තා සහ අම්මා කුඹුරුට ගියහ
අයියා ද අක්කා ද තෝ ද පොළට යහු
ආචාර්යවරයා සහ මම පාසල් ගියෙමු
- නොහොත් නිපාතයෙන් දෙපස දැක්වෙන නාම පද එකිනෙකට අසම්බන්ධිත ය. අවසාන ක්‍රියාවට ආසන්නතම පදය උක්තය ලෙස තෝරා ගත යුතුය.
උදාහරණ - ගුරුතුමිය නොහොත් ළමයා ගී ගයයි.
තාත්තා නොහොත් තෝ කුඹුරට යහි.
තාත්තා නොහොත් අපි ගමට ගියෙමු
- ප්‍රශ්නාර්ථවාචී ද නිපාතයෙන් ප්‍රාණවාචී නාම පදයක් සම්බන්ධ වන කල්හි උක්ත කර්තෘ රූප ගනියි.
උදාහරණ - මම හොඳ .ගුරුවරයෙක් ද?
අපි අවංක ළමයි ද?
සියලු සිංහලයෝ සැදැහැවත් බෞද්යෝ ද?
- එකම අයෙක් එකම වාක්‍යයක් තුළ විශේෂණ පද කිහිපයක් සමඟ පෙනී සිටින විට එම සියලු පද රූප ගනියි.
උදාහරණ - මගේ පාසලේ දරුවො අහිංසකයෝ ද, අවංකයෝ ද, හොඳ ශිෂ්‍යයෝ ද වෙති.
මගේ දයාබර ගුරු අම්මා කාරුණික මවක් ද, සොහොයුරියක් ද, මිතුරියක් ද, හිතවතියක් ද, වූවා ය.
අසල්වැසියා කාරයෙක් ද, වංචනිකයෙක් ද, රැවටිලිකාරයෙක් ද, කම්මැලි කාරයෙක් ද, බොරුකාරයෙක් ද වේ.
- ආඛ්‍යාත පූර්ණය සඳහා ය නිපාතය යොදනු ලබන අවස්ථාවල දී උක්ත රූපය ලෙස ප්‍රථමා විභක්ති ප්‍රත්‍යයක් යෙදිය යුකුය.
උදාහරණ - අනාගත නායකයෝ ඔවුහු ය.
ඇය දක්ෂ නිළියක් ය.
ගුරුවරු දෙවිවරු ය.
- වාක්‍ය මධ්‍යයෙහි කෝ, කොහි ද, කවරහුද, කෙහේ ද යන ප්‍රශ්නවාචී නිපාත පද යෙදෙන කල්හි එයින් කියවෙන නායක පදය උකත රූප ගනියි.
උදාහරණ - . මිනිස්සු කෝ ? ලෙනාඩ් වුල්ෆ් ඇසීය.
රැස්වීමේ ඡන්ද දායකයෝ කෙහේ ද? අපේක්ෂකයො ඇසූහ.
මේ බසයේ පැමිණි මගිහූ කවුරු ද?
- හෙවත් නිපාතයෙන් දෙපස දක්වනු ලබන්නේ එකම අයෙක් හෝ කණ්ඩායමක් හෝ බැවින් එකී පද දෙක ම උක්ත රූපයෙන් තැබිය යුතුය. අවසාන ක්‍රියාව සඳහා තෝරාගත යුත්තේ අවසාන ක්‍රියාවට සමීපතම පුරුෂයයි.
උදාහරණ - ලොකු පුතා හෙවත් මම අපේ පවුලේ වැඩිම දුක් විඳි තැනැත්තා වෙමි.
මම හෙවත් ලොකු පුතා අපේ පවුලේ දුක් විඳි තැනැත්තා ය.
බුද්ධදාස රජු හෙවත් වෙද රජු බොහෝ සතුන් සුව කළේය
- උධෘයක් හෙවත් උපුටා ගැනීමක් තුළ දක්වන වාක්‍ය කොටසක උක්තවන නාම පදය දෙවන වාක්‍ය අර්ධය තුළ පෙනී සිටින විට එමප දය ද උක්ත රූප ගනියි.
උදාහරණ - “මම විභාගය සමත් වෙමි” යි සඳගෝමී කිවා ය.
“අපි කුසලානය දිනමු” යි ක්‍රිඩකයෝ කීහ.
“මම ප්‍රධාන ශිෂ්‍යනායකයා වෙමි” යි හොටු පෙත්තා කීවේ ය.
- කාලාර්ථයේ හෝ අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියාවක් වාක්‍ය මධ්‍යයෙහි යෙදෙන විට ඊට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ.
උදාහරණ - දරුවන් පාදල් යද්දී දෙමාපියෝ රැකියාවට යති.
අප විභාගය සත් වුවහොත් නෑදෑයෝ සතුටු වෙති.
දෙමාපියෝ අහිමි වුවහොත් දරුවෝ අනාථ වෙති.
- ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් සහිත වාක්‍යවල ලවා නිපාතයට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදෙයි.
උදාහරණ - ගුරුවරු ශිෂ්‍යයන් ලවා වැඩ කරවති.
ඇමතිවරු නිලධාරීන් ලවා සිය අනුවණකම් දුරු කරවා ගනිති.
පොහොසත්තු කමකරුවන් ලවා පතල් කප්පවති.
- වාක්‍ය අවසානයෙහි අවිනිශ්චිතාර්ථයක් ගනු ලබන විට ඊට පූර්වයෙන් අනුකත පදයක් යෙදෙයි.
උදාහරණ - දරුවන් පාසල් යාවි.
රැසවීමට ඡන්ද දායකයන් පැමිණේවි.
මිනිසුන් අද වැඩට ඒවි.
- වාක්‍ය මධ්‍යයෙහි කෘදන්ත පදයක් යොදනු ලබන විට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ.
උදාහරණ - ළමයින් පාඩම් කරන්නේ අඵීළිවෙළටයි.
දෙමාපියන් ආදර්ශ වන්නේ මහලු වියේ දී ය.
මා පාසලෙන් පිටවනවා දරුවො දුටුවෝ ය.
- ‘ව’ වීමේ ධාතුවෙන් සෑදෙන අතීත කෘදන්ත පද පූර්ව ක5ියා සහ වර්තමාන කෘදන්ත පදවලට පූර්වයෙන් යෙදෙන නාම පදය අනුක්ත විය යුතුය. (ව, වී, වූ, වන, වන්නේ)
උදාහරණ - නළුවෙකු වී ජනප්‍රියත්වයට පත් සුරේෂ් ගායකයෙකු ව විදේශ ගත විය.
ගීත රචකයෙකු වී සම්මාන දිනූ රත්න ශ්‍රි පසුව කවියෙකු ව සම්මාන දිනී ය.
ගායිකාවක වන දමිතා නළුවෙකු වූ දමිත් සමඟ විවාහ වූවාය.
- ‘ව’ වීමේ ධාතුවෙන් සෑදෙන ක්‍රියා පද අවසාන ක්‍රියාවට යෙදෙන විට ඒවා උක්ත රූප ගනියි. (විය, වූහ, වෙයි, වන්නීය)
- විනා, මුත්, මිස, හැර යන නිපාතවලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ.
උදාහරණ - දරුවන් විනා දෙමාපයින්ට අන් සරණක් නැත.
බෞද්ධයන් මිස කවුරු දන්සල් දෙත් ද?
අප මුත් පාසලට ආදරය කරන අය නැත.
- කරා, වෙත, ළඟ, කෙරෙහි, ගැන, පිළිබඳව, ඇතුළු, මත, පිට යන නිපාත පද වලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදිය යුතුය.
උදාහරණ - පටාචාරාවෝ බුදුන් කරා එළඹ සෝවාන් වූහ.
කාන්තාවෝ නීතිඥ වෙත ගොස් දුක් කියති.
දෙමාපියෝ ඇතුළු ශිෂ්‍යයෝ සභාවට ගියහ.
- හා, සහ, සමග, කැටුව, එක්ක, විසින් යන නිපාත පද වලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදිය යුතුය
උදාහරණ - මවක් දියණියක හා සිඟමන් යදියි
කාන්තාවක් දරුවන් හා නික්ම ගියාය
පියෙක් පුතුන් සහ කුඹුර කොටයි
- හා, සහ යන නිපාත පද කැටි කිරීම අර්ථය යෙදෙන විට උක්ත රූප යෙදේ.
උදාහරණ - ගුරුවරයෙක් හා ගුරුවරියක් ළමුන්ට උපදෙස් දුන්හ
දෙමාපියෝ සහ දරුවෝ ශ්‍රමදානයක් පැවැත්වූහ
- අරඹයා, උදෙසා, සඳහා, පිණිස, නිසා යන නිපාත පදවලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදිය යුතුය.
උදාහරණ - බුදුරජු භික්ෂුන් අරඹයා දෙසූ ජාතක කතා අපමණය.
අනාථවූවන් සදහා ලබා දෙන ආහාර සලාක සමෘද්ධි නියාමකයෝ ගනිති.
අප නිසා අම්මා විඳි දුක් කෙසේ කියන්න ද?
- වෙනුවෙන්, වෙනවට, අනුව, ප්‍රමුඛ, ලෙෂ යන නිපාත පදවලට පූර්වයෙන් අනුකත පදයක් යෙදිය යුතුය.
උදාහරණ - දරුවනි, දෙමාපියන් වෙනුවට ආදේශක නැත.
ආයතන ප්‍රධානීන් අනුව ම ක්‍රියා කළ අය නින්දාවට පත් විය.
ඇමතිවරුන් ප්‍රමුඛ මන්ත්‍රිවරුන් රැස්වීමට එද්දී මිනිස්සු පශ්චාත් භාගය පෙන්වූහ.
- එව්, අයුරු, මෙන්, සේ, වැනි, බඳු, විලස, වගේ යනාදී තුල්‍යාර්ථ නිපාත පද වලට පූර්වයෙන් අනුක්ත පද යෙදේ.
උදාහරණ - දෙවියෙකු මෙන් පිහිට වූ ගුරුතුමා මගේ ජීවිතය බේරා ගත්තේ ය.
වීරයන් මෙන් කතා කරන සමහරු ප්‍රශ්නවලදී නොදරුවන් මෙන් ක්‍රියාකරයි.
දෙවඟනක බඳු ගැහැනියක් යක්ෂණියක වන්නේ ඇසිල්ලකින් ය.
- මැනවි, මැන, යහපති, වැනි නිපාත පද වාක්‍ය අවසානයේ යෙදෙන විට කර්තෘ පදය අනුක්ත ය.
උදාහරණ - දුරින් වඩින්නේ බුදුන් නම් මැනවි.
මිහිඳු හිමියන් නැවත වඩින්නේ නම් මැනවි
සක් දෙවියන් වඩිනු මැන.
No comments:
Post a Comment