Sunday, May 26, 2019


සද්ධරමරත්නාවලියේ කතා උපක්‍රම 


මෙරට බණකතා සාහිත්‍යයේ සුවිශේෂ ග්‍රන්ථයක් වූ සද්ධර්මරත්නාවලිය දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලදි. යහපත් වූ ධර්මය අමුණන ලද මැණික් මාලය (සද්+ධර්ම+රත්න+ආවලිය) යන අර්ථයෙන් සද්ධරමරත්නාවලිය යන අර්ථාන්විත නම තබා ඇත. සද්ධර්මරත්නාවලිය මෙරට බණකතා සාහිත්‍යයේ ලියවුණු සුවිශේෂිතම ග්‍රන්ථය ලෙස සළකණු ලබන්නේ එය සම්පූර්ණයෙන්ම ගැමි ජනතාව අරමුණු කර රචනා කරන ලද ග්‍රන්ථයක් බැවිනි. මේ සදහා මුලාශ්‍ර වූයේ පාලිධම්මපදට්ඨ කතාවයි. පාලි අටුවාව හැරුණු විට රත්නාවලිය සදහා සුත්‍ර නිපාත, සූවිසි විවරණ කතා වලින්ද මූලාශ්‍ර ගෙන තිබේ. මූලාශ්‍ර වලට වහල් නොවන ධර්මසේන හිමියෝ තමාට අවේණික ස්වතන්ත්‍ර කථා රීතියකින් නිමවයි. අමාවතුරේ සිට පූජවලිය දක්වා භාවිතා කළ පාලි-සකු මිශ්‍ර රීතිය වෙනුවට ධර්මසේන හිමියෝ දේසජ බණකතා රීතියක් සකස් කර ගනිති.

සද්ධර්මරත්නාවලිය පාලි ධම්මපදට්ඨ කතාව ඇසුරින් රචනා කළේ වී නමුදු එහි පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොව පරිවර්තීය හා අනුවර්තීය ලක්ෂණ ඉක්මවා ගිය ස්වතන්ත්‍ර නිර්මාණයක් තරම් වෙතැයි සි0හල සාහිත්‍ය ග්‍රන්ථය ලියූ ආනන්ද කුලසූරිය මහතා මෙන්ම සි0හල සාහිත්‍ය නැගීම ග්‍රන්ථය ලියූ මාර්ටින් වික්‍රමසි0හ මහතා ද සිය ග්‍රන්ථ වල සදහන් කළහ. ධර්මසේන හිමියෝ කිසිදු බණකතා රීතියකට ඉදුරා වහල් වූවෙකු නොවේ. අමාවතුරින් මෙරට බණකතා සාහිත්‍යට හදුන්වා දුන් බුද්ධිගෝචර රචනා රීතියට හෝ බුත්සරණින් හදුන්වා දුන් භක්තිගෝචර රිතියට ධර්මසේන හිමියෝ අවනත නොවුහ. උන් වහන්සේ යොදා ගත්තේ තමාට ආවේණික දේසජ කතා රීතියකි. එය ගැමි ජීවිතය සමීපව ඇසුරු කිරීමෙන් සකස් කර ගත්තකි. තමා පාලි අටුවාවෙන් ලබා ගත්තේ අර්ථය පමණක් බව උන් වහන්සේ සදහන් කරති. 

"පාලියෙන් අර්ථ පමණක් ගෙන අප විසින් කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලාසනා දී අඩු වැඩි ඇතත්.." 

තමා පාලි මූලාශ්‍රයෙන් අර්ථය පමණක් ගත් බවත් කතාව ගෙතූයේ තමාට රිසි අවැසි ස්වාධීන ශෙලියකින් බවත් උන් වහන්සේ සදහන් කරති. 

රත්නාවලිකතා පාලි අටුවාවෙන් භාවය හා චායාව පමණක් ගෙන කළ නිර්මාණ ලෙස විචාරකයෝ මතයක් දක්වති. ධර්මසේන හිමියෝ සෙසු කතාකරුවන් මෙන් නොව තමා නිර්මාණය කරන චරිත කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙළු සිය චරිත අගතියට හෝ දුගතියට පමුණුවා සතුටු වන සිතක් උන් වහන්සේට නොතිබුණි. රත්නාවලි කතා ගැමි ජනයාට වඩාත් සමීප වුයේ එහිලා යොදා ගත් ගැමි රීතිය නිසාය. පිරි පැසුණු නුවණින් යුතු වෘද්ධ ගැමියෙකු තම සුහදයන් හා කරන කතා බහක් ලෙසින් රත්නාවලි කතා ගලා යයි.

ධර්මසේන හිමියෝ සද්ධරමරත්නාවලිය රචනා කිරීමේ මුඛ්‍ය පාරමාර්ථය වන්නේ නූගත් ගැමියාට සරලව ධර්මය තේරුම් කිරිමට මගක් සොයා ගැනීමයි.

"නුවණ මද වත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කමෙහි හැසිර නිවන් සාදා ගනිත් නම් එවන් වූ සත්පුරුෂයන්ට වැඩ පිණිස සද්ධර්මරත්නාවලි නම් ප්‍රබන්ධයක් කරම්හ." 

පතපොත කියවා අවබෝධ කර ගැනීමට තරම් උගත් නෝවූ කුසල් කිරීමට කැමති ගැමි ජනතාවට උපදෙස් සපයා දී සුචරිතෙහි යොමු කරවා ඉන් තවතවත් කුසල් රැස් කරවා දී ස0සාරයේ කෙළවර නිර්වාණය සාක්ෂාත් කරගන්නට සාමාන්‍ය ගැමි ජනයාව යොමු කරවාලීම සද්ධරමරත්නාවලිය කෘතිය ලිවීමේ අරමුණ බව කතු හිමියෝ පෙන්වා දෙති. ධර්මසේන හිමියන් යොදා ගත් කතා උපක්‍රම නූගත් ගැමියන්ට බණ කියනු රිසියෙන් සකස් කර තිබේ. 

  1. කතාව ආරම්භයේ සහ අවසානයේ උපදේශය දැක්වීම
  2. ගැමි වහරින් සහ උපමා වලින් තම අදහස් කියාපෑම
  3. තමා නිර්මාණය කරන චරිත කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙලීම
  4. තමා නිර්මාණය කළ චරිත වලට සුඛාන්ත අවසානයක් දීම
  5. කතාන්දරයක් හා මුසු කොට ධර්මෝපදේශයක් ලබා දීම
  6. කතා රසය ඇති කිරීම සදහා අත්භූතය යොදා ගැනීම
  7. අවස්ථා නිරූපණයේ දී නාට්‍යමය ශෙලිය යොදා ගැනීම
  8. යම් සිද්ධියක් හෝ අවස්ථාවක් හෝ පුද්ගලයෙක් හෝ වර්ණනා කිරීමට සිතූ තැන තමා දන්නා හදුනන පරිසරය හා පුද්ගලයන් යොදා ගැනීම
  9. ගැඹුරු ධර්ම කරුණු සරල නිදසුන් මගින් පැහැදිලි කිරීම
  10. චරිත ගැටීමෙන් දියුණු කිරීම
  11. ජීවිතයේ අනුවේදනීය අවස්ථාවන් මතු කිරීම
  12. නාට්‍යමය කථා වින්‍යාස රීතිය
  13. හාස්‍ය හා උපහාසය යොදා ගැනීම
  14. කිසියම් අදහසක් තහවුරු කිරීමට ජාතක කතා නාම නිදසුන් ලෙස දැක්වීම

මේ සියල්ල කතුවරයාගේ මුඛ්‍ය පරමාර්ථය සාධනය කරගනු වස් මහෝපකාරී වූ උපක්‍රමශීලී බණකතා රචනා ශෙලීන් සේ සැලකිය හැකිය. මේ ආකාරයට බණකතා රීතිය ආකෘතිමය වශයෙන් ගුරුකොට ගනිමින්, භාෂාව, වචන, උපමා, පිරුළු යොදා අර්ථය හා පණිවිඩය වඩා රසවත්ව, නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීමට සද්ධර්මරත්නාවලී කතුවරයාණන් පෙළඹිණි. සබුද්ධික පාඨකයා නොව, නූගත් ග්‍රාම්‍ය ජනයා ඉලක්ක කොට ගත් සද්ධර්මරත්නාවලියේ එකී පරමාර්ථය සාධනය කිරීමෙහිලා කතුවර හිමියන් දරන ලද උත්සහය බණකතා රීතිය වඩ වඩාත් තහවුරු කිරීමකි. එම ස්ථීර සාර්ථක ලක්ෂණයට උරුමකම් කීමට උන් වහන්සේ තෝරා ගත් බණකතා හෙවත් ධර්මදේශනා රීතිය ද අනුපමේය, අනල්ප ලෙස වැදගත් වී ඇත.


2 comments: