සද්ධර්මරත්නාවලියේ තෝරා ගත් කතා වස්තු කිහිපයක කතා සාරය
පටාචාරා වහන්දෑගේ වස්තුව
පටාචාරා වහන්දෑගේ වස්තුව කථා සාරය අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර
ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. කෝටි හතලිහක් පමණ වස්තු ඇති සිටුවරයෙක් ද සැවැත් නුවර
වසයි. ඔහුට දියණියක හා පුතෙකු ඇත. දියණියට වයස අවුරුදු දහසයක් පිරුණු පසු වැරදි හැසිරීමෙන්
වලකනු පිණිස දෙමාපියෝ ඇයව සිටුමැදුරෙහි උඩුමහලේ තබා ආරක්‍ෂා කරති. නමුත් ඇය
සිටුමැදුරෙහිම සේවය කරන තරුණයෙකු හා රහසේම මිත‍්‍ර වී සේවිකාවක ලෙස වෙස්වලාගෙන
කාටත් හොරා ඔහු සමඟ පැනයයි. දුක්ඛිත ජීවිතයක් ගතකරන ඇය ඔහුට දාව දරුවකු ලබයි. කාලය
ගෙවීයයි. ඇය දෙවැනි වරටත් ගැබ් ගනියි. ඇය දෙමාපියන් වෙත යාමට කැමති වුවද ස්වාමියා
එයට අකමැති වෙයි. දිනක් ඇය ස්වාමියා වැඩට ගිය පසු අසල් වැසියන්ට කියා පෙර උපන්
දරුවාද රැගෙන සැවැත් නුවර බලා පිටත්වෙයි. ගෙදර ආ සැමියා අසල් වැසියන්ගෙන් තොරතුරු
දැන තම බිරිඳ සොයා නික්මෙයි. අතරමගදී හමූවු දෙදෙනාම සැවැත් නුවර බලා නික්මෙයි. වනය
මැදින් යන අතරතුර අකල් වැස්සක් ඇතිවෙයි. මහ හඬින් ගොරවන්නටද විදුලි කොටන්නට ද
පටන්ගනියි. සිටු දියණියට විලි වේදනාවත් ඇති වෙයි. දරුවා වැදීමට තැනක් සකස් කිරීම
පිණිස ලී දඩු කැපීමට ගිය සැමියාට තුඹසක් මතදී නයෙකුගෙන් පහර කා මිය යන්නට
සිදුවෙයි. දරුවා වැදීමට ගෙයක් තබා සැමියාවත් නොලැබුණු ඇය මහත් දුකසේ දරුවකු ප‍්‍රසූත
කරයි. රාත‍්‍රිය පුරා දරුවන් උණුසුම් කරමින් වැස්සට තෙමුනු ඇය පසු දින සැමියාට
සිදුවූ අනතුර දැක හඬමින් වැලපෙමින් දෙමාපියන් වෙත නික්මෙයි. අචිරවතී ගඟින්
එතෙරවීමට ගිය ඇයගේ එක් දරුවෙක් උකුස්සෙකුටද අනෙක් දරුවා ගංදියටද බිලිවෙති. වියෝ
දුකින් පෙළෙන ඇය හඬාවැලපෙමින් දෙමාපියන් වෙත යන අතරමගදී තවත් හද කම්පා කරවන පුවතකට
ඇහුම්කන්දෙයි. එනම් තමන්ගේ දෙමාපියන් හා සොහොයුරා මරණයට පත්වූ බවයි. ගතසිත ශෝකයෙන්
වෙලීගිය ඇය පිස්සියක මෙන් හිස හැරුණු අත දිවගියේ ඇඳිවත පවා සිරුරෙන් ගිලිගෙන බව
නොදැනය. අවසානයේදී ඇය ජේතවනාරාමයට පැමිණෙයි. බුදුරදුන්ගේ පිහිට ලැබූ ඇය ජීවිතයේ
යථාර්ථය වටහා ගනියි. අවසානයේදී සෝවාන් ඵලයට පත් ඇය බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්ලයි.
බුදු රජාණන් වහන්සේ ඇය මෙහෙණියන් ලවා පැවිදි කරවන සේක. දින තුනක් පය සේදීමට පාද
වලට දැමූ ජලය පොළවට අසමින් එකිනෙක දිනයන් වලදී ඈතට ගිය ආකාරය දැක ජීවිතයෙහි අනියත
බව හා මරණයෙහි නියත බව මෙනෙහි කරමින් සිටි. පටාචාරා තෙරණියට බුදුරදුන් ගඳකිලියේම
වැඩ වසමින් රස් කඳක් විහිදුවා ධර්මය දෙසන සේක. දහම් දෙසුම අවසානයේදී සසර දුක් නැතිකරමින්
පටාචාරා තෙරණියෝ රහත්වෙති.
මච්ඡරිය කෝසිය සිටාණන්ගේ වස්තුව
අප බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සේක. රජගහ
නුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගමක් ඇත. එහි අසූ කෝටියක් පමණ සම්පත් ඇති මච්ඡරිය
කෝසිය නම් සිටුවරයෙක් ඇත. ඔහු ඉතා ලෝභය. අනුන්ට කිසිවක් නොදෙයි. තමනුත් අනුභව
නොකරයි. දිනක් බුදුරජාණන් වහන්සේ අලූයම් වේලෙහි මහාකරුණා සමාප්තියට සමවැද නිවන් දැක්විය
හැකි අයෙකු සොයන සේක. මච්ඡරිය කෝසිය සිටුවරයාට හා ඔහුගේ බිරිදට සෝවාන් වීමට තරම්
පින ඇතිබව දුටුසේක. පෙර දිනකදී සිටුතුමා රජමාලිගාවට ගොස් එනවිට එක්තරා මිනිසකු
පැණි පොල්වලින් පිරුණු කැවුම් ගෙඩියක් කනු දැක කැවුම් කෑමට ආශාවක් ඇතිවිය. නමුත්
ධනය වියදම් වෙතියි සිතා එය කිසිවෙකුට නොපවසා සිටියි. අවසානයේදී තම බිරිඳට ඒ බව
පවසන ඔහු කාටත් හොරා තමාට පමණක් කැවුම් පිසදෙන ලෙස බිරිඳට පවසයි. දෙදෙනාම සිටුගෙදර
උඩුමහලට යති. දොරගුලූ ලා අඳුර දුරුවනු පිණිස ජනේලය ඇරතබා කැවුම් පිසති. ඍද්ධිමත්
භික්‍ෂූන්ට අග‍්‍රවූ මුගලන් මහරහතන් වහන්සේට සියලූ තොරතුරු ප‍්‍රකාශ කළ බුදුරජාණන්
වහන්සේ කැවුම් සමඟ මච්ඡරිය කෝසිය සිටුවරයා හා බිරිඳ දහවල් දානය වළදන වේලාවට
ජේතවනාරාමයට කැඳවාගෙන එන ලෙස ද වදාරයි. මුගලන් තෙරුන් වහන්සේ තම ඍද්ධි බලයෙන් මච්ඡරිය
කෝසිය සිටුවරයාගේ මසුරු ගතිය දුරුකර ඔවුන් දෙදෙනාම බුදුරදුන් වෙත රැගෙන එන සේක.
බුදුරදුන් ප‍්‍රමුඛ පන්සියයක් භික්‍ෂූන්ට පිලිගන්වා තමනුත් කා යාචකාදීන්ට ද දුන්
නමුත් කැවුම් ඉවර වන්නේ නැත. අවසානයේදී බුදුරදුන්ගේ විධානයෙන් ඉතුරු කැවුම්
ජේතවනාරාම දොරටුව ලඟ ගල්තලාවකට දමයි. එම ගල ‘කබලූගල’ නමින් ප‍්‍රසිද්ධ වෙයි. මසුරුකම දුරුකළ
සිටුවරයා තමන්ගේ අසූ කෝටියක් පමණ වූ වස්තුව විවිධ දාන දීම සඳහාම වැයකරයි. පසු දින
ධර්ම සභාවෙහි රැස්ව සිටි තෙරවරු මුගලන් තෙරුන්ගේ ගුණ කියති. බුදුරදුන් එය දැන භික්‍ෂූණ්ට
අවවාද අනුශාසනා කර ඉල්ලීස නම් ජාතක කථාවද දේශනා කළ සේක.
කිසාගෝතමී කතා වස්තුව
අසීමිත දරු සෙනෙහසින් යුත් තුරුණු මවක් දරුවා ද කර පින්නාගෙන වීථියක්
වීථියක් පාසා, ගමක් ගමක් පාසා අවසිහියෙන් මෙන් දුවන්නී ය. ඇය
දුටුවන්ගේ නෙතට ලක් වන්නේ පිස්සියක මෙනි. හමු වන හමු වන අයගෙන් ඇය අසන පැනයකි. “අනේ! මගේ දරුවා සනීප කර දෙන්න පුළුවන් ද?” ඇයගේ අඳෝනාවට කන් දෙන අය සිතන්නේ පිස්සු විකාරෙන් දොඩවන ගැහැනියක බව
යි. ඈ සමහරුන්ගේ උසුළු-විසුළුවලට ද ලක් වේ. දරු සෙනෙහස බලවත් වූ නිසා දරුවා මළ
බවක් ඇයට නො තේරේ. එහෙත් සත් පුරුෂ එක් මනුෂ්‍යයෙක් ඇයට “නැගණියනි;
සැවැත්නුවර ජේතවනාරාමයෙහි එක් වෙදදුරු
කෙනෙක් සිටිති. උන් වහන්සේ සියලු රෝගවලට ප්‍රතිකර්ම දන්නා මහා කාරුණිකයාණන් වහන්සේ
නමකි.” තිලොවට තිලක බඳු වූ ඒ භාග්‍යවත්, අරහත් වූ,
සියලු රෝගයන්ට ප්‍රතිකර්ම දන්නා වූ මහා
කාරුණිකයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයෙහි වැඩ සිට සිව්වනක්
පිරිසට දම් දෙසන සේක. ඇය අර සත් පුරුෂයා කී පරිදි දරුවා ද කර පින්නාගෙන මේ පිරිස
මැදින් දම්සභා මණ්ඩපයෙහි වැඩ සිටින උතුමාණන් වෙත දිව ආවා ය. අප නිදුකාණන් වහන්සේ
ඇය ගැන බුදු නෙතින් බැලූ කල ඇයට රහත් වීමට තරම් පෙර පින් ඇති බව දුටු සේක. ඒ නිසා
ම ඇයට බුදු පාමුලට එන්නට මඟ විවර විය. බුදුන් වහන්සේ වෙත ආ ඇය “අනේ ස්වාමීනි! මගේ දරුවා සුවපත් කර දෙන්න හැකි දැ?” යි ඇසුවා ය. එවිට සර්වඥයන් වහන්සේ “නැගණියනි, සුව කළ හැකි ය”
යි වදාළ හෙයින් ඇගේ සිත සන්සුන් විය. “ස්වාමීනි,
මා ඒ සඳහා කුමක් කළ යුතු දැ?” යි ඕ වහා විමසුවා ය. භාග්‍යවතුන් වහන්සේ “නැගණිය, මට අබ ඇට ස්වල්පයක් අවශ්‍ය යි” වදාළහ. අබ ගෙන ඒම සඳහා සූදානම් වූ ඇයට නිදුකාණන් වහන්සේ “නැගණිය, කිසිවකු නොමළ ගෙයකින් ගෙනෙන අබ යි මට අවශ්‍ය
වන්නේ” යි වදාළහ. ඉක්බිති ඇය මළ දරුවා ද තුරුලු කරගෙන
නොමළ ගෙයක අබ සොයමින් සැවැත් නුවර හැම ගෙයක් ගෙයක් පාසා ම ඇවිද්දා ය. මුළු දවස
පුරා ම නොමළ ගෙයක අබ සෙවූ ඈ සවස් වන විට හොඳට ම හෙම්බත් විය. ‘කිසිම තැනක නොමළ ගෙයක් නැත. මරණය නම් මෙලොව උපන් සියලු දෙනාට ම පොදු
ධර්මතාවකි. එයින් කිසිවකුට බේරීමට නොහැකි ය. ඒ නිසා මේ නිරර්ථක වෑයමක යෙදීමෙන්
වැඩක් සිදු නො වේ’ යන අවබෝධය ද ඒ සමඟ ම ඇයට පහළ විය. ‘මෙලොව උපන් සැමට ම අයිති වූ මරණය මගේ දරුවාට ද අයිති වූවකි.’ මේ අනිත්‍යතාව සිතමින් ඈ බුදු පියාණන් වෙත පියනැගුවා ය. ඈත සිට ම ඇය එනයුරු දකිමින් කාරුණික වූ අප
සම්මා සම්බුදුන් වහන්සේ “පින්වත් නැගණිය; අබ ගෙනාවා දැ?” යි ඇසූ සේක. “භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්ස; මට දැන් අබවලින් වත් දාරක ස්නේහයෙන් හැදූ-වැඩූ පුතුන්ගෙන් වත් වැඩක්
නැත. අනිත්‍යය පසක් කරගත්තෙමි. ස්වාමීනි, කිසිවකුත් නැති මට පිහිට වුව මැනවි. මට
ඔබ වහන්සේගේ පිහිට පමණ යි”
කියමින් ඕ බුදු සිරිපතුල් අබියස
වැඳ-වැටුණා ය. ධර්මය මැනැවින් ශ්‍රවණය කළ ඈ උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටියා ය. ඈ
බුදු සසුනෙහි පැවිදි බව ලැබීමට කැමැති බව බුදු පියාණන් හට දැන්වූයෙන් මෙහෙණ වරකට
යවා පැවිද කළ සේක. කිසාගෝතමි මහරහත් තෙරණිය රූක්ෂ චීවරධාරි භික්‍ෂුණීන් අතරින් අග්‍ර
ස්ථානයෙහි පිහිටුවූ සේක.
මට්ටකුණ්ඩලී කතා වස්තුව
“සැවැත් නුවර අදින්නපුබ්බක නම් බමුණාණ කෙනෙක්
වෙති. ඌ තුමූ තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට නුදුන් විරූ ය” මේ මසුරු අදින්නපුබ්බක බමුණාට ලද පුතුට කුඩා කල ම ආභරණයක් පැලඳවීමට
සිතා ඒ සඳහා වස්තුව විය-පැහැදම් කිරීමට ඇති මසුරුබවේ ස්වභාවය කියා සිටියේ “නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් මහත් වුවත් අදහස
කුඩා බැවින්” යනුවෙනි. ආභරණයක් සකසන්නට රන්කරුවන්ට බොහෝ මිල
ගෙවන්න සිදු වන බැවින් එය තමා ම සකසා දෙයි. දිනක් කුමාරයාට පාණ්ඩු රෝගි වැළදෙයි.
රෝගිබව උත්සන්න වූ විට බැමිණිය ඒ බව බමුණාට කී කල්හි “පිළියමට වෙදවරුන් ගෙනා කල වෙදකම් නිවන තෙක් බතුත් දුන මැනව; මං කුලීත් දුන මැනව;
කෙළවර මිලත් දුන මැනව.” එසේ කියූ බමුණා කිසිදු වියදමකින් තොරව ම ප්‍රතිකාර සොයන්නට සිතා වෙදවරුන්
වෙත ගොස් පාණ්ඩු රෝග ඇත්තවුන්ට කුමන ආකාරයේ පිළියම් කෙරෙත් දැ යි සතුටු-සාමීචි කථා
මාධ්‍යයේ අසා සිටී. උන්ගේ අභිප්‍රායන් දත් වෙදැදුරෝ රෝගය විෂම වන ලෙස බෙහෙත්
කියූහ. බමුණා ඒවා දරුවාට සකසා දුන්නේ ය. එයින් දරුවාගේ රෝගය අසාධ්‍ය බවට පැමිණේ. අසාධ්‍ය වූ පුතුට අවසන් මොහොතේ බමුණාගේ සිතනුයේපුතු
මළ පසු අවමංගල්‍යයට එන මිනිසුන්ට ගේ තුළ ඇති සම්පත් පෙනෙන හෙයින් ගෙයින් පිටත පිල
පිට පුතු තැබීය යුතු බවයි. බුදුන්ගේ කරුණා ඇසට ලක් වන රෝගි පුතු වෙත වඩින බුදු
හිමියන් ආලෝක ධාරාවක් විහිදවූ කල මට්ටකුණ්ඩලී ඒ දෙස බලා සිත පහදවා මියැදී තව්තිසා
දෙව්ලොව රන්විමනෙක උපදී. දරුවා ආදාහනය කොට ව්‍යාජ දරු පෙමකින් සොහොනෙහි හඬන
අදින්නපුබ්බක වෙත එන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ද හඬන්නට පටන් ගනී. අදින්නපුබ්බක
ඒ වෙත පැමිණ හඬන්නේ හැයි දැ යි විමසා තම රථයට රෝද දෙකක් අවශ්‍ය බව කියූ කල්හි එය
රනින් සාදා දෙන්නට බමුණා පොරොන්දු වේ. අවසන ඉර හා හඳ හැර වෙනත් රෝද අනවැසි බව
කීමෙන් දිව්‍ය පුත්‍රයා පියාගේ ශෝකය හැර-ලන්නේ තමා ඇසට පෙනෙන යමක් ඉල්ලා හඬද්දී
නොපෙනෙන යමක් ඉල්ලා හඬන බමුණා මෝඩයකුගේ ස්වභාවයට පත් කරවීමෙනි. අවසන බුදුන් වෙත
පැමිණෙන අදින්නපුබ්බක බුදුන්ට දන් දී මසුරුසිත දුරු කරවා සෝවාන් ඵලය ලබන්නේය.
👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete